English (United Kingdom)Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

අප ගැන

වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විසිහත වසරක ගමන්මග

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 13 වන සංශෝධනය අනුව, 1987 අංක 42 දරණ පළාත් සභා පනත ගෙන ඒමත් සමඟ එතෙක් මධ්‍යම රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවන ලද ආදායම් ශීර්ෂ ගණනාවක් පළාත් සභාව වෙත පවරා දෙන ලදී. මෙම ආදායම් ශීර්ෂ යටතේ වූ වැදගත් ආදායම් ප්‍රභවයන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ආදායම් රැස්කිරීමේ කර්තව්‍යන් සඳහා 1990 අංක 8 දරණ වයඹ පළාතේ පළාත් සභාවේ මුදල් ප්‍රඥප්තිය නීතිගත විය. මෙය 1991 ජනවාරි 01 දින සිට වයඹ පළාත තුල ක්‍රියාත්මක වේ.

මෙම ප්‍රඥප්තියේ කාර්යයන් ක්‍රියාත්මක කිරීම, මෙහයෙවීම හා පවත්වාගෙන යාම සඳහා පළාත් ආදායම් දෙපාර්තමේන්තුව නම් ආයතනය ස්ථාපිත කරන ලදී. මෙම ආයතනය ස්ථාපිත කිරීමේදී දේශීය ආදායම් සේවයේ සේවය කරන ලද නිලධාරීන් යම් සංඛ්‍යාවක් බඳවාගෙන දෙපාර්තමේන්තුව ආරම්භ කොට ඇත. මෙම දෙපාර්තමේන්තුව ආරම්භයේදී මෙහි මුල්ම කොමසාරිස්වරයා වශයෙන් ආර්.එම්.ගුණතිලක මහතා කටයුතු කොට ඇත. ඔහු යටතේ තක්සේරුකරුවන් හා බදු නිලධාරීන් වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීන්ද පළාත් සභාවේ අනුයුක්ත කිරීම් යටතේ වෙනත් කාර්ය මණ්ඩලයන්ද කටයුතු කොට ඇත. 1997 වර්ෂයේ මුල සිට මෙම දෙපාර්තමේන්තුව සඳහා තරඟ විභාගයක් පවත්වා බාහිරින් නිලධාරීන් බඳවා ගැනීම සිදු කොට ඇත. එදා මෙදා තුර කාලය තුල බඳවා ගැනීමේ පරිපාටියට අනුව විභාග පවත්වා මෙහිම අනුයුක්ත කිරීම් මඟින්ද අභ්‍යාසලාභී වැඩසටහන් මඟින් අනුයුක්ත කිරීම් මඟින්ද අන්තර් පළාත් සථාන මාරු යටතේද නිලධාරීන් බඳවා ගෙන ඇත.

ආර්.එම්.ගුණතිලක මහතා විශ්‍රාම ගත් පසුව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ ආර්.එස්.රාජසිංහ මහතා මෙම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා වශයෙන් පත්වී වසර 1 ½ ක කාලයක් සේවය කරන ලදී. ඔහු විශ්‍රාම යෑමෙන් පසුව එච්.එච්.බී.උකුවෙල මහතා වසර 7 ක පමණ කාලයක් කොමසාරිස්වරයා වශයෙන් සේවය කොට ඇත. ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව මෙම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරියක් ලෙස සේවය කල ඒ.එල්.කේ.එම්.සී.කුමාරිහාමි මහත්මිය කොමසාරිස් ලෙස වසර 4 ½ ක් පමණ කාලයක් සේවය කරන ලදී. ඇගේ විශ්‍රාමයෙන්පසුව මෙම දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු ආර්.ඩී.එස්. ගුණවර්ධන මහතා මාස 08 ක කාලයක් කොමසාරිස් තනතුරේ වැඩ ආවරණය කරන ලදී. ඉන් පසුව මෙම දෙපාර්තමේන්තුවට බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන අසේල හෙට්ටිආරච්චි මහතා කොමසාරිස් ලෙස පත් කරන ලදී. එදා සිට අද දක්වා ඔහු කොමසාරිස් තනතුරේ සේවය කරනු ලබයි.

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේදක්වාම පළාතේ ක්‍රියාත්මක වන එකම ආයතනයක් වශයෙන් කුරුණෑගල නගරය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක විය. මුල සිට කුලියට ලබාගත් ගොඩනැගිල්ලක පොල්අත්තාපිටියේද ඊට පසුව වැහැර ප්‍රදේශයේ ස්ථාන දෙකකද කුලී ගොඩනැගිලි වල දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය. ඉන්පසුව විල්ගොඩ පාරේ කුලී ගොඩනැගිල්ලක ක්‍රියාත්මක විය. වර්තමානයේ මෙය පළාත් සභා සංකීර්ණය තුල E ගෙඩනැගිල්ලේ 3 වන මහලේ ක්‍රියාත්මකව පවතී. නුදුරු අනාගතයේදී මෙහි උප කාර්යාලයක් හලාවත නගරයේ ආරම්භ කිරීමට දැනට කටයුතු කෙරෙමින් පවතී.

1991 සිට 2010 දක්වා කාල පරිච්ඡේදය තුල පළාත් සභා සමස්ථ ආදායම් වලින් ප්‍රථම ආදායම් ශීර්ෂය වන පිරිවැටුම් බදු එකතු කිරීම අදාල කාල සීමාවේ විධිමත්ව ඉලක්ක සපුරමින් ලබා ගැනීමට සමත්වී ඇත. 2010 වර්ෂය වන තෙක්ම දෙපාර්තමේන්තුවේ සමස්ථ ආදායමින් 70% ක් ම පිරිවැටම් බදු මඟින් ලබාගන්නා ලදී. කෙසේ වෙතත් 2011 වර්ෂයේ මධ්‍යම රජයේ අයවැය මඟින් පිරිවැටුම් බද්ද අත්හිටුවීම හේතුවෙන් ආයතනයේ ක්‍රියාත්මක භාවය මෙන්ම නිලධාරීන්ගේ රැකියාව පිළිබඳවද අවිනිශ්චිත කාල පරීච්ඡේදයකට මුහුන දීමට සිදු විය. මෙම අභියෝගයන්ට මුහුන දීම සඳහා දෙපාර්තමේන්තුවේ ඊලඟට වැඩිම ආදායම වූ නිශ්චල දේපල පැවරීම මත ගෙවිය යුතු මුද්දර බදු එකතු කිරීමේ .......... . 2010 වර්ෂය දක්වා මුද්දර ගාස්තු අය කිරීම සම්බන්ධ ප්‍රඥප්තියේ කාර්ය භාරය ක්‍රියාත්මක වූයේ ඉතා සීමිත තත්වයකය. මුළු පළාතේම කටයුතු සඳහා යොදවා තිබුනේ එක් තක්සේරුකරුවකු වීම තුලින් එය මැනවින් වටහාගත හැක. එසේම එම කාලය තුල අතිරේක මුද්දර ගාස්තු අය කිරීම රුපියල් මිලියනයකට වඩා අඩු අගයක් විය.

2011 වර්ෂයේ සිට මෙතෙක් ප්‍රඥප්තියේ 57 හා 62 වගන්ති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මුද්දර ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව අවශ්‍ය ආකෘති පත්‍ර හා අභ්‍යන්තර ක්‍රමවේදයන් සකස් කරන ලදී. අද දිනය වන විට මෙම ක්‍රමවේද වෙනස්වීම් හා වැඩිදියුණුවීම් වලට භාජනය වෙමින් වඩාත් කාර්යක්ෂම තත්වයකට පත්වී ඇත. මුද්දර ගාස්තු වටිනාකම් තක්සේරු කිරීමේදී දෙපාර්තමේන්තුව මුහුණදුන් බරපතල ගැටළුවක් වූයේ දේපල තක්සේරු කිරීම පිළිබඳව දැනුම සහිත නිලධාරීන් හිඟ වීමයි. මෙම අභියෝගයට මුහුනදීම සඳහා අවශ්‍යවන පුහුණු ක්‍රියාවලිය මත අනෙකුත් පළාත් ආදායම් දෙපාර්තමේන්තු සමඟ එක්ව පුහුණු වැඩසටහන් ගණනාවක් මඟින් නිලධාරීන්ට අවශ්‍ය දැනුම ලබා දීමට ක්‍රියාකරන ලදී. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මඟින් ලබා දෙන ආධාර මඟින්, නිලධාරීන් දැනුවත් කිරීම , නොතාරිස්වරුන් , පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් හා නිලධාරීන් මෙන්ම ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් හා නිලධාරීන් දැනුවත් කොට මුද්දර ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය පළාත තුල නව්‍යතාවයකින් ක්‍රියාත්මක කිරීමට පදනම දැමීමට හැකිවිය. නුදුරේදීම පවත්නා මුද්දර ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය පරිගණක වැඩසටහනක් මඟින් ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු කර ඇත.

මේ දක්වා ක්‍රියාත්මක වූ මුද්දර ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය මඟින්, අද වන විට 2010 රැස්කල මුද්දර ගාස්තු වල වටිනාකම් මට්ටමේ සිට 2017 වන විට 207% කින් මුද්දර ගාස්තු ආදායම වැඩිකර ගැනීමට හැකි විය. එසේම අතිරේක මුද්දර ගාස්තු එකතු කිරීම සෑම වර්ෂයකම වර්ධනය වෙමින් මේ වන විට මිලියන 70 ක මට්ටමට වර්ධනය වී ඇත. මේ වන විට පළාත් සභාවේ ආදායම් ශීර්ෂයේ දෙවැනි ස්ථානයට වැඩිම ආදායම් ලබන ආදායම් ශීර්ෂය ලෙස මුද්දර ගාස්තු ආදායම පත් වී ඇත. ඒ මඟින් දෙපාර්තමේන්තුව වර්තමානයේදී නැවතත් පළාතේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන දෙපාර්තමේන්තුවක් බවට පත්කර ගැනීමට හැකි වී ඇත. එමෙන්ම පිරිවැටුම් බද්ද අත්හිටුවීම හේතුවෙන් පළාත් සභාවට අහිමිවී ගිය ආදායම වර්ෂයෙන් වර්ෂය වැඩිකර දෙමින් පළාත් සභාව සවිබල ගැන්වීමට හැකිවී ඇත. එසේම වයඹ පළාත තුල පිහිටි පළාත් පාලන ආයතන වල මූල්‍ය ශක්තියද වැඩකර දීමට හැකිවිය.

ඉහත සමස්ථ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී දෙපාර්තමේන්තුව හමුවේ ඇති දැඩි අභියෝගය නම් නිලධාරීන්ගේ හිගයයි. 2011 පිරිවැටුම් බදු අත්හිටුවිමත් සමඟ දෙපාර්තමේන්තු බඳවා ගැනීම් ක්‍රියාවලියද නතර විය. එසේම නිලධාරීන් විශ්‍රාම ගැනීමත් නිලධාරීන් වියෝවිමත් හේතුවෙන් තවදුරටත් මේ ගැටළුව උග්‍රවී ඇත. මෙම ගැටළුවට පිළියමක් වශයෙන් රජ්‍ය සේවයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් යම් සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති වුවද අවශ්‍ය ප්‍රමාණයට එය සිදු වී නැත. ඉදිරියේදී මෙම ගැටළුව විසදීම සඳහා නව නිලධාරීන් බඳවා ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කර ඇත. මීට අමතරව පළාතේ ආදායම් විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ඛණිජ ප්‍රඥප්තියක් හා උකස් ප්‍රඥප්තියක් සකස් කොට පළාත් සභාව වෙත ඉදිරිපත් කොට ඇති අතර ඒවා තවමත් ක්‍රියාත්මක මට්ටමට පැමිණ නැත.